ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් ආරක්‍ෂක ඇඳුම් කට්ටල තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 19) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (2020 මැයි 19) දිනයේදීද රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන යටතේ සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලන මණ්ඩල නියෝජිත සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ආචාර්ය අමිල කංකානන්ද මහතා ඇතුළු එම සමාජයේ සාමාජිකයින් පිරිසක් සහ ‘හිරු සහන යාත්‍රා’ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් කට්ටල නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි රතු කුරුස සමාජයේ සාමාජිකයින් සහ ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහනේ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍