කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත භාරදීම අද (2020 අප්‍රේල් 30) සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතී. ඒ අනුව. කොරියාවේ, බුසාන් සමුද්‍ර හා සාගර විශ්ව විද්‍යාලයේ (Korea Maritime and Ocean University, Busan, Korea) මහාචාර්යවරයෙකු වන යං-හෝ ලී (Young- Ho Lee) මහතාගේ මූල්‍ය අනුග්‍රහය මත ආචාර්ය ප්‍රසන්න ගුණවර්ධන සහ පරිඝණක ඉංජිනේරු උපාධි අපේක්‍ෂකයෙකු වන කේශර වීරසිංහ යන මහත්වරුන් විසින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කල ව්‍යාපෘතියක් යටතේ නිශ්පාදනය කරන ලද ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත භාරදීම අද (2020 අප්‍රේල් 30) සිදු කරන ලදි.

තවද, මෙම උපකරණ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න විසින් නාවික හමුදාව වෙනුවෙන් භාර ගැනීමට කටයුතු කල අතර, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් මෙම අවස්ථාවට සහභාගී වූ ආචාර්ය ප්‍රසන්න ගුණවර්ධන, කේශර වීරසිංහ යන මහත්වරුන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍