අනලතිවු දූපත්වාසි ජනතාව සඳහා නාවික හමුදාව වියලි සළාක බෙදා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින යාපනය, අනලතිවු දූපතේ ජීවත්වන ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සහය ලබා දෙමින් සිටී. ඒ අනුව යාපනය අනලතිවු දූපතේ ජීවත්වන ජනතාව වෙනුවෙන් වියළි සළාක ලබා දීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ 2020 මාර්තු 30 වන දින පැවැත්වීමට කටයුතු කරන ලද අතර, එහිදී එම දූපතේ ජනතාව වෙත අත්‍යාවශ්‍ය වියලි සළාක පාර්සල් 500 කට අධික ප්‍රමාණයක් බෙදාදීම සිදු කරන ලදි.

තවද, ඇඳිරි නීති වතාවරණය හමුවේ තම එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට අපහසු ජනතාව වෙනුවෙන් සිදු කරන මෙවැනි සමාජ සුභසාධන කටයුතු සඳහා තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව ඉදිරියටත් කටයුතු කරනු ලබයි.