නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ප්‍රදේශයේ වන ලැහැබක් තුල සඟවා තිබූ නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් සොයා ගැනීමට සමත්විය.

නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් සෝදිසි මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් මන්නාරම, ඌරුමලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු මස 30 වන දින ක්‍රියාත්මක කරන ලදි. එහිදී ප්‍රදේශයේ වන ලැහැබක සඟවා තිබූ හක් බෙල්ලන් 1150 ප්‍රමාණයක් (මිලි මීටර 70කට වඩා අඩු) සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල හක් බෙල්ලන් තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් මෙම හක් බෙල්ලන් තොගය මෙලෙස සඟවා තැබීමට උත්සාහ කර ඇතැයි සැක පල කරනු ලබන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.