කඩොලාන ශාක කපා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මණ්ඩතිව් කළපු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) අද (2020 පෙබරවාරි 16) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් තම දායකත්වය නිරන්තරව ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් යාපනය, මණ්ඩතිව් කළපු ප්‍රදේශයේදී සිදු කරන ලදි. එහිදී කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 41ක් වන යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා, කපා තිබූ කඩොලාන ශාක, ඩිංගි යාත්‍රාව හා පිටත දහන යන්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා යාපනය, අඩවි වන නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

වෙරළ ඛාදනය වැලැක්විම සඳහා බෙහෙවින් උපකාරිවන මෙම කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීම සඳහා ඉතා සුළු පිරිසක් කටයුතු කරනු ලබන අතර, එවැනි විනාශකාරි ක්‍රියාවන් වැලැක්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම නාවික හමුදාව විසින් කඩොලාන පැල සිටුවිමේ ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්‍ෂා කොට සංරක්‍ෂණය කිරීමයි.