ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ වැඩසටහන් රැසක්.

ජල විද්‍යාත්මක සමීක්‍ෂණයක් සිදු කිරීම සඳහා මෙරටට පැමිණ තිබෙන ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රීලංකා නාවික හමුදා‍ව අතර දෙරටේ සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් 2020 පෙබරවාරි මස 07 වන දින ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, 2020 පෙබරවාරි 07 වන දින නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් එච්ඒ හාඩස් (HA Hardas) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, ‘ජමුනා’ නෞකාවේ නාවික පුද්ගලයින් සහ ශ්‍රීලංකා නාවික හමුදා‍ව අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් වැලිසර නාවික හමුදා කදවුරේදී සුහද පැසි පන්දු සහ වොලි බෝල් තරඟයක් පවත් වන ලද අතර, ඒ සඳහා සහභාගී වන ලද දෙරටේ ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව තම ක්‍රීඩා කෞශල්‍යයන් විදහා පාමින් ක්‍රීඩාවෙහි නිරත විය. මෙය දෙරටේ ක්‍රීඩා කණ්ඩායම් වලට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් විය.