දේශිය ගංජා කිලෝ 10 ක් සමග සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 පෙබරවාරි 02 වන දින තනමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව තනමල්විල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 පෙබරවාරි 02 වන දින සිදු කරන ලදි. එහිදී සැකකටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර ඇති අතර, ඔහු පිළිබඳ වැඩිදුර විමර්ශනයේදී ඔහුගෙන් ලද තොරතුරකට අනුව කටුපඳුරු සහිත කැලෑවක් තුළ සඟවා තිබූ දේශිය ගංජා කිලෝග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සොයාගන්නා ලදි. ඒ අනුව සැකකරු සමග දේශිය ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගත් අතර, සැකකරු වයස අවුරුදු 42 ක් වන ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇත.

තවද, අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සහ දේශිය ගංජා කිලෝග්‍රෑම් 10 ක ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කොස්ලන්ද පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.