නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද අහිතකර ජලජ ශාක ඉවත්කිරීමේ යන්ත්‍රය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත නිළ වශයෙන් භාර දෙන ලදි.

ලෝක තෙත්බිම් දිනයට සමගාමීව නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සංවිධානය කරන ලද කොළඹ නගරයේ ඇළ මාර්ග ආශ්‍රිතව මී පැල සහ කුඹුක් පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය බත්තරමුල්ල දිය සරු උද්‍යානයේදී අද (2020 පෙබරවාරි 02) ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික අංශයේ නව නිපැයුමක් වන අහිතකර ජලජ ශාක ඉවත් කිරීමේ යන්ත්‍රය (Weed Remover Machine) ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත භාරදීමද සිදු කරන ලදි.

මෙම අවස්ථාවේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත භාර දෙන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික අංශයේ නව නිපැයුමක් වන අහිතකර ජලජ ශාක ඉවත් කිරීමේ යන්ත්‍රය (Weed Remover Machine) මගින් පැයකට ටොන් 02 ක පමණ ජබර වැනි අහිතකර ජලජ ශාක ප්‍රමාණයක් ඉවත්කල හැකි අතර, ශාක කොටස් එම අවස්ථාවේදීම කැබලි කර යාන්ත්‍රිකව මලු වලට පිරවීමේ හැකියාවද පවති. තවද ඒසේ ඉවත් කරන ශාක කොටස් කැබලි කිරීම නිසා පහසුවෙන් කාබනික පොහොර නිෂ්පාදන සඳහා යොදා ගත හැකි අතර, මිනිස් ශ්‍රමය මඟින් ඇල මාර්ග වල ඇති හානිකර ජලජ ශාක ඉවත් කිරීමට වඩා ඉතා කාර්යක්‍ෂමව සහ වේගවත්ව එම කාර්ය මෙම නව යන්ත්‍රය මඟින් සිදු කර ගැනීමේ හැකියාවද පවතී.

ලෝකයේ ප්‍රථම රැම්සා තෙත් බිම් අගනගරය ලෙස විරුදාවලිය ලත් කොළඹ නගරයේ අලංකාරත්වය වැඩි දියුණු කිරීම ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම සහ සීඝ්‍රයෙන් අඩු වී යන වන ගහනය ආරක්‍ෂා කිරීමද අරමුණු කොට ක්‍රියාත්මක කරන ලද අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්ආර්ඩබ් ද සොයිසා ද සහභාගී වන ලදි