කේරළ ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 01 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

2020 පෙබරවාරි 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව කිළිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ යතුරු පැදියක ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය නවතා වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී යතුරු පැදිය පැදවූ පුද්ගලයා සතුව තිබී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 500ක ප්‍රමාණය සොයා ගැනීමට හැකිවී ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන කිළිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට හදුනා ගෙන ඇත..

එසේම, අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කිළිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.