ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ විදුලි නව නිපයුම් වැඩපල තවත් සංදිස්ථානයක් පසු කරයි

කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව (නැගෙනහිර) ට අයත් නව නිපැයුම් විදුලි වැඩපල මගින් දේශීයව නිර්මාණය කර සංවර්ධනය කරන ලද පී 472 වේග ප්‍රහාරක යාත්‍රාවේ Naval Propulsion and Steering Control System (NPSC) එන්ජින් හා ධාවන පාලන පද්ධතිය 2020 ජනවාරි මස 29 වන දින ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කර විවෘත කරන ලදි.

කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව නැගෙනහිර ගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසකගේ කැපවීම මත පී 472 වේග ප්‍රහාරක මුර යාත්‍රාව සඳහා “NPSC” පාලන පද්ධතිය සැලසුම් කිරීම සහ ස්ථාපනය කිරීම 2019 ජුනි 17 වන දින ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සති 12 ක කාලයක් තුළ සාර්ථකව නිම කරන ලද අතර, පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා යාත්‍රාව 2020 ජනවාරි මස දක්වා නිරීක්ෂණ යටතේ ක්‍රියාත්මක විය. පද්ධතියේ ක්‍රියාකාරිත්වය සනාථ කිරීමෙන් පසු, NPSC පාලන පද්ධතිය නැගෙනහිර නාවික ආඥාපති විසින් චාරිත්‍රානුකූලව විවෘත කරන ලදි.

මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ලෙස දළ වශයෙන් රුමිලියන 3.5ක් වැය වූ අතර ඒ සදහා මුල් උපකරණ නිෂ්පාදකයා විසින් යෝජිත පාලන පද්ධතියේ වැඩිදියුණු කිරීමේ පිරිවැය රුපියල් මිලියන 94 ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි. එමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට රු මිලියන 90.5ක ඉතිරියක් ලබා ගැනීමට හැකිවිය.

තවද, පී 460 සහ පී 491 වේග ප්‍රහාරක මුර යාත්‍රා සඳහා මේ හා සමාන ව්‍යාපෘති මේ වසරේදී සිදු කිරීමට නව නිපැයුම් විදුලි වැඩපල (නැ) හි ඉංජිනේරුවන් නිරත වී සිටින අතර පී 460 ව්‍යාපාතිය ලබන මාසය වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ. තවද, පී 473, පී 474 සහ පී 475 යාත්‍රා සඳහා නව පාලන පද්ධති 2021 සහ 2022 වර්ෂයන් සඳහා සැලසුම් කර ඇත.