ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 24) දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි.

ඒ අනුව, ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම උදෙසා පසුගිය ජනවාරි 06 වන දින ආරම්භ කෙරුණු මෙම පුහුණු කදවුර නාවික හමුදාධිපති ගේ අංශ පිරික්‍ෂුම සහ ආචාර පෙළපාලියකින් පසුව පැවති විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් අනතුරුව නිමාවට පත්වන ලදී.

1952 ජනවාරි මස 09 වන දින නිලධාරින් 24 ක් හා නාවිකයින් 121 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ වූ ස්වේච්ඡා නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට සමගාමීව මේ වන විට නිලධාරින් 449 ක් හා නාවිකයින් 10934 ක ගෙන් සැදුම්ලත් ජාතික මෙන්ම හදිසි අවස්ථාවන්හි දී සහ ව්‍යසනයන්හිදී විශේෂඥ දැනුම හා පිරිස් බලය ලබා දීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින බල හමුදාවක් බවට පත්වී ඇති අතර, නාවික හමුදාවට පවරා ඇති කාර්යයන් ඉටුකිරීම සඳහා නිත්‍ය නාවික හමුදාවට ආධාර සහ අවශ්‍ය සහාය ලබා දෙන ප්‍රධානතම බල හමුදාව ලෙස ද මෙය හඳුන්වා දිය හැක. එමෙන්ම සිවිල් ජන සමාජ අත්දැකීම් හා සමාජීය සම්ප්‍රදායික හර පද්ධතීන් වලින් ලද පන්නරය නාවික හමුදා කාර්යභාරය ඉටු කිරීමේදි භාවිතා කිරීමටත් නාවික හමුදා ආචාර ධර්ම හා සම්ප්‍රදායන්හි අනන්‍යතාවට අදාල ප්‍රයෝගික පුහුණුව හා අවබෝධය වැඩි දියුණු කර ගැනීමටත්, යාවත්කාලීන කර ගැනීමටත්, ඒ තුලින් විනය ගරුක හා කාර්යක්‍ෂම නාවික පුද්ගලයෙකු බිහි කිරීමට මෙම වාර්ෂික පුහුණු කදවුර මහඟු පිටිවහලක් වන බව මෙම සුවිශේෂි අවස්ථාව අමතමින් නාවික හමුදාධිපතිතුමන් විසින් ප්‍රකාශ කර සිටින ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු නාවික හමුදා මුලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.