නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී ක්‍රියාවන් මර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මූතූර් පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය, තෝපූර් ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් සිදු කරන ලද මුර සංචාරයකදී අත් ට්‍රැක්ටර් දෙකක් (02) මගින් නීති විරෝධී ලෙස ගවයින් තිදෙනෙක් (03) ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර ඇත. එම අත් ට්‍රැක්ටර් වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී ඒවා තුළ තිබී පොරෝවක් සහ පිහි දෙකක් (02) සොයා ගැනීමට හැකි වී ඇත. එහිදී පුද්ගලයින් දෙදෙනාද අත් අඩංගුවට ගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා (02) වයස අවුරුදු 25 සහ 40 වන වියෙහි පසුවන තෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.

ගවයින් තිදෙනො (03) ඝාතනය කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිට ඇති බවට සැක පල කරන අතර, අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා (02), අත් ට්‍රැක්ටර්, පිහි, පොරෝව සහ ගවයින් පිළිබඳ ඉදිරි විමර්ෂණ කටයුතු මූතූර් පොලිසිය මගින් සිදු කරනු ලබයි.