නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 වන දින පුත්තලම, පූක්කුලමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව පුත්තලම, පූක්කුලමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරනලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදි ඩිංගි යාත්‍රා 01 ක් සහ තහනම් දැලක් (01) සමග පිටත දහන යන්ත්‍රයක් (01) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 31 ත් 35 ත් අතර වයස් වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ තහනම් දැල සමග අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.