නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි

2019 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය 2020 ජනවාරි 10 සහ 11 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවති අතර, ඒ සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටියහ.

උසස් දක්ෂතා පිළිඹිබු වූ මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගත් අතර, එහි පිරිමි අනුශූරතාවය පුහුණු නාවික විධානයටද කාන්තා අනුශූරතාවය උතුරු මැද නාවික විධානයට හිමි විය. දින දෙකක් (2) ක් පුරාවට පැවති මෙම ක්‍රීඩා තරඟාවලිය නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වලින් වර්ණවත් වූ අතර, එහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධජ නිලධාරී නාවික දියත්විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහභාගී වූ අතර, නැගෙනහිර නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවිකයන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

මෙහිදී දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නායක නැවි එම්එස්එල් ශ්‍රීකාන්ත විසින් දිනා ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ආධුනික කාන්තා නැවි පීජීඑස්එම් හේරත් සම්මාන දිනාගැනීමට සමත් විය.