අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී අද (2020 ජනවාරි 10) අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට නිරන්තරව සහාය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින තුලට රැගෙන ඒමට උත්සහ දරන සහ රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සිදු කරන ලද තවත් වැටලීමක් නාවික හමුදාව සහ පොලිසිය එක්ව, පුත්තලම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරමින් සිටින අතරතුර සැක කටයුතු නිවසක් නිරීක්‍ෂණය කර එම නිවස පරීක්‍ෂාවට ලක් කිරීමේදී නිවසේ තිබී අයිස් (Methamphetamine) නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 420 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, එක් (01) සැකකරුවෙකුද අත් අඩංගුවට ගෙන ඇත. එම සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

අදාල සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම පොලිසිය විසින් සිදු කරන අතර, ඉදිරියේදී ද මෙවැනි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.