නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල දහසක් රෝපණය කරයි

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ ‍කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කල මෙම වැඩසටහන පසුගිය වසරේ දෙසැම්බර් මස සිට මෙම වර්ෂයේ ජනවාරි මාසය වන තෙක් ක්‍රියාත්මක කර ‍කඩොලාන පැල දහසක් (1000) රෝපණය කිරීමට නාවික හමුදාවට අවස්ථාව හිමිවිය. ඒ අනුව උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර, කංචදේව සහ වේළුසුමන යන ආයතන කඩොලාන පැල 300 බැගින් ද, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය කඩොලාන පැල 100 ක් ද උතුරු අර්ධද්වීපයට අයත් වෙරළ තීරය වටා රෝපනය කර පැල දහසක සම්පුර්ණ කරන ලදී. එම අවස්ථාවන් සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිඳු කිරීම, කැස්බෑ සංරක්ෂණය, ජීව වායු නිෂ්පාදනය කිරීම සහ කොරල්පර සංරක්ෂණ වැනි ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. එමගින් ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් හිමිවන අතර, මෙම කර්තව්‍යයන්, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.