නීති විරෝධී ගංජා හේන් දෙකක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාව සහ වනජිවී දෙපාර්තමේන්තුව එක්ව 2019 දෙසැම්බර් මස 30 වන දින සිතුල්පව්ව, ගල් කඩුව ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී ස්ථාන දෙකකදී ගංජා හේන් දෙකක් (02) සොයා ගන්නා ලදී.

මෙරට මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් පුළුල් කරමින් වනජිවී දෙපාර්තමේන්තුව හා එක්ව සිතුල්පව්ව, ගල් කඩුව ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ස්ථාන දෙකක ගංජා හේන් දෙකක් (02) සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදී ප්‍රථමයෙන්ම අක්කර ½ ක ගංජා හේනක් සොයා ගත් අතර, එහිදී විකිනීමට සූදානම් කර තිබූ වියලි ගංජා කිලෝග්‍රෑම් 10, ගංජා බීජ කිලෝග්‍රෑම් 02 ක් සහ මෙරට නිශ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සොයා ගන්නා ලදී.

තවද, සිදු කල වැඩිදුර විමර්ශනයේදී ඊට ආසන්නයේ තිබූ තවත් අක්කර ½ ක පමණ ගංජා හේනක් සොයා ගැනීමට සමත් වන ලදී. ඒ අනුව අදාල හේන් දෙක, විකිණීමට සූදානම් කල වියලි ගංජා කිලෝග්‍රෑම් 10 සහ ගංජා බීජ කිලෝග්‍රෑම් 02 ගිනිතබා විනාශ කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මෙරට නිශ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වනජිවී දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මගපෙන්වීම සහ උපදෙස් මත මුහුදු මාර්ග ඔස්සේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීමේ ජාතික මෙහෙවර නාවික හමුදාව විසින් ඉදිරියටත් ඉටු කරමින් සිටියි.