නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වෙහි සිදුකල නාවික හමුදා කිමිදුම් මෙහෙයුම

නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වෙහි අක්‍රීයව තිබූ වාන් දොරටුව යලිත් ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2019 දෙසැම්බර් මස 24 වන දින නාවික හමුදාව සමත් විය.

ඒ අනුව, නුවරඑළිය, ග්‍රෙගරි වැ‍‍වෙහි වාන් දොරටුව ක්‍රියාවිරහිත තත්වයට පත්වී ඇති බව නුවරඑළිය නගාරාධිපති විසින් නාවික හමුදාව දැනුවත් කරන ලදී. අයහපත් කාලගුණික තත්වයන් හෝ ස්වභාවික විපත් හේතුවෙන් ජන ජීවිතයට සිදුවන බධාවන් මඟහරවා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වු නාවික හමුදාව ඒ සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

එහිදී නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් සිදුකල මූලික පරීක්‍ෂාවේදී වාන් දොරටුව සහ පතුල අතරින් විශාල පීඩනයකින් යුත් ජල පහරක් නිකුත් වන බව නිරීක්‍ෂණය කර ඇත. එවැනි තත්වයක් යටතේ කිමිදුම් මෙහෙයුමක් සිදු කිරීම අනතුරුදායක බැවින් යකඩ තහඩු සහ වැලි කොට්ට යොදා ගනිමින් එම ජල පහර නැවැත්වීමෙන් පසු සිදුකල කිමිදුම් මෙහෙයුමේදී වාන් දොරටුව සහ වාන් දොරටුව සම්බන්ධ වන යකඩ කොටසේ සම්බන්ධක ඇණය කැඩීගොස් ඇති බව නිරීක්‍ෂණය විය. අනතුරුව නුවරඑළිය නාගරික ඉංජිනේරුවන්ගෙන් ලබා ගත් නව ඇණයක් ප්‍රතිස්ථාපනය කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කරන ලදී. නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වෙහි අධික සීතල නොතකමින් ඔවුන්ගේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් යොදාගෙන සිදුකල මෙම කිමිදුම් මෙහෙයුම් මගින් වාන් දොරටුව නැවත යාථාතත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.