අන්තර් විධාන සරඹ තරඟාවලිය සාම්පුර්හිදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 28 වන දින සාම්පුර්හි ශ්‍රී ලංකා නාවික නෞකා ‘විදුර’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. නව (9) වන වරටත් පැවති මෙම තරඟාවලියේ සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැ‍ගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී විය.

මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය වන පරිදි සරඹ කණ්ඩායම් 10 ක් සහභාගී වූ අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට බටහිර නාවික විධාන කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාවය හිමි කර ගැනීමට ධජ නිලධාරි නාවික දියත් විධානයට හැකියාව ලැබිණි.

තවද, සමස්ථ තරඟාවලියේ දක්ෂතම අණදෙන්නාට හිමි කුසලානය බටහිර නාවික විධාන කණ්ඩායම නියෝජනය කළ ලුතිනන් ආර්ඒ සිංහලක්සන විසින් හිමි කර ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් රැසක්ද සහභාගී වී සිටියහ.