සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙකක් 2019 දෙසැම්බර් මස 29 වන දින ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී කොළඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල අතර එහිදී කොළඹ ප්‍රදේශයේ වැල්ලවත්ත සහ මට්ටක්කුලිය මෙන්ම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නාවික තඨාකාංගණය අසල වෙරළ තීරයන්ද මෙලෙස පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට ලක්ව තිබූ වෙරළ තීරයන්, අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට එමගින් අවස්ථාව උදා විය. එහිදී වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් ද සහභාගී විය.

තවද, දිවයින වටා වූ වෙරළ පරිසර පද්ධතිය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යෑම සඳහා අපි සැම කටයුතු කළ යුතු වන අතර, එම යුතුකම වෙනුවෙන් “නීල හරිත සංග්‍රාමය” යටතේ ද නාවික හමුදාව නිරන්තරයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. එමගින් වෙරළ හා වෙරළ ආශ්‍රිතව පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කරදීමේ අදිටනින් නාවික හමුදාව මෙම ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි.


වැල්ලවත්ත සහ මට්ටක්කුලිය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන