නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ සහ ජල ක්‍රීඩා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වයි

2019 දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සහ ජල ක්‍රීඩා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (2019 දෙසැම්බර් 29) සාර්ථකව පවත්වන ලදී.

කොළඹ ගාලු මුවදොර පිටිය යනු ශතවර්ෂ ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ නගරය ආශ්‍රිතව පවතින දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රධානතම ස්ථානයක් වන අතර, සංචාරකයින් දසදහස් ගණනින් සිය විනෝදාශ්වාදය සඳහා මෙන්ම නිදහසේ කාලය ගත කිරීම සඳහා පැමිණෙන පොදු ස්ථානයක් ලෙස හැඳින්වීමට හැකිය. එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටිය ආශ්‍රිත වෙරළ තීරය සුන්දරව සහ අලංකාරවත්ව පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සහ සාගර පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම සඳහා පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.

ගාලු මුවදොර වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින් සඳහා පරිසර හිතකාමීව විනෝදාශ්වාදය ලැබිය හැකි ආකාරය පිළිබඳව ආදර්ශයක් සැපයීමත්, විශේෂයෙන් සාගරික පරිසරය පිරිසිදුව තබා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව මහජනතාවට උද්ප්‍රේරණයක් ඇති කිරීමත් අරමුණු කොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. තවද, මෙම වැඩසටහන කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක පිහිණුම් ක්‍රියාකරකමක්, කායක් ඔරු පැදීමේ ජල ක්‍රීඩාවක් මෙන්ම වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සුහද බීච් වොලිබෝල් තරගයකින් සමන්විත වූ අතර, මුහුදේදී සහ වෙරළේදී ජීවිතාරක්‍ෂාව සලසා ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම උදෙසා නිරූපණයක් ඉදිරිපත් කිරීමකින් ද අලංකාරවත් විය. ඉහත ක්‍රියාකරම් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා සහ පිහිණුම් ශූරි, ජූලියන් බොලින් මහතා ද සහභාගී විය.

මීට අමතරව බටහිර නාවික විධානය භාර ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින්, කොටුව පොලීසියේ රථ වාහන අංශයට සහ පාරිසරික කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලබන නිලධාරින්, බොලින් පිහිනුම් ඇකඩමියට අනුයුක්ත පුහුණුවන්නන්, ‍ශ්‍රී ලංකා ජිවිතාරක්‍ෂක සංගමය, කොළඹ මහනගර සභාවේ කසල බැහැර කිරීමේ ඒකකය සහ කොළඹ, විශාකා විද්‍යාලයේ සිසුවියන් ද ඇතුළුව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.