ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු (14) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු (14) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් 2019 දෙසැම්බර් 28 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් සහ සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන අඛන්ඩ මුර සංචාරයක් අතරතුරදී ඩෙල්‍ෆ් දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී එම යාත්‍රාවල සිටි ඉන්දීය ජාතිකයින් දහහතරදෙනෙකු (14) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. මෙම ඉන්දීය ජාතිකයින් අවුරුදු 20 ත් 70 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් බව ද වැඩිදුර විමර්ශනයේදී කරුණු අනාවරණය කරගෙන ඇත.

මෙහිදී, නාවික හමුදා භාරයට ගත් ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙතත්, ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනය වෙතත් රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, එහිදී එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන මුර සංචාර හේතුවෙන් මේවන විට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නියැලිම සාපෙක්‍ෂව අඩුවි ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.