මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වෙනුවෙන් නාවික හමුදා සහ පොලීස් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 28 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය මත්පැන් නිශ්පාදනය කල සහ කේරළ ගංජා ලඟ තබා ගත් කාන්තාවක් (01) අත් අඩංගුවට ගෙන ඇත.

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්‍ෂා කිරීමේදී නිවස තුල පවත්වාගෙන ගිය දේශිය මත්පැන් නිශ්පාදනාගාරයක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී දේශිය මත්පැන් ලිටර් 20 ක් සහ එම මත්පැන් නිශ්පාදනය කිරීමට යොදා ගන්නා ලද බැරලයක් සහ තවත් උපරකණ කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

තවද, නිවසේ හිමිකරු ලෙස සිටි කාන්තාවගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී නිවසේ සඟවා තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට ද සමත්ව ඇත. ඒ අනුව, එම මත්ද්‍රව්‍ය නිවසට රැගෙන එන ලද යතුරු පැදිය ද සොයා ගත් අතර, පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු ලෙස සැලකෙන මෙම කාන්තාව අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත් අඩංගුවට ගත් සැකකාර කාන්තාව අවුරුදු 29 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බව හඳුනාගෙන ඇති අතර, එම කාන්තාව, දේශිය මත්පැන් තොගය, කේරළ ගංජා තොගය, යතුරු පැදිය සහ අනෙකුත් උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය, පෙලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මඟපෙන්වීම සහ උපදෙස් මත මුහුදු මාර්ග ඔස්සේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීමේ ජාතික මෙහෙවර නාවික හමුදාව විසින් ඉදිරියටත් ඉටු කරමින් සිටි.