කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 22 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 19 වන දින කච්චතිව් දුපත ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා තොගයක් සොයා ගෙන ඇත.

නාවික හමුදාව විසින් සාගර කලාපය මෙන්ම වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනු ලබන මෙහෙයුමක් කච්චතිව් වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද අතර, එහිදී වෙරළ තීරයට ගොඩගසා තිබූ පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර, එය පරික්‍ෂාවට ලක් කර ඇත. මෙහිදී පාර්සල් 10 ක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර, එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 22 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා ඩෙල්ෆ්, පොලීසිය වෙත භාර දෙන ලදි.

තවද, ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට උත්සාහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව මෙම වසර තුලදී පමණක් කේරළ ගංජා ටොන් 03 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.