ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වීය.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාධිපතිතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන‍ පරිශ්‍රයේ දී නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද්මිරාල් කරම්බීර් සිං ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් හඳුන්වාදෙන ලදී.

ඉන් අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලයේදී ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතර ද්විපාර්ශවීය වශයෙන් දෙරට හමුදාවන්ට වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

සුහද හමුවෙන් පසුව, නාවික හමුදා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ව්‍යුහය, මෙහෙයුම් කටයුතු සහ නාවික හමුදාවේ කාර්යභාර්ය සම්බන්ධයෙන් ඉන්දියානු නාවික හමුදාධිපතිතුමා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

තවද, ඉන්දීය නාවික හමුදාධිපතිතුමා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සමරු සටහනක් තැබිමට ද කටයුතු කරන ලදී.

සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අද්මිරාල් කරම්බීර් සිං 2019 දෙසැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවැත්විමට නියමිත මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයේ අරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට ද නියමිතව ඇති අතර, ඉන්දීය නාවික හමුදාධිපතිතුමා සිය නිල සංචාරයේදී අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට ද නියමිතව ඇත. තවද, එතුමන් තම නිල සංචාරය නිමා කරමින් දෙසැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.