අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.

ඒ සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදා විධානයන් තුල සහන කණ්ඩායම් සුදානම් කිරීමටත්, ස්වභාවික විපත් සිදුව ඇති ස්ථාන වෙත සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමටත් නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත. තවද, නාවික හමුදා මැරීන් බලකායට, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අයත් නාවික පුද්ගලයින් ඇතුළුව නාවික පුද්ගලයින් විශාල පිරිසක් මේ සඳහා අනුයුක්ත කර ඇත.

පසුගිය දින කිහිපය පුරා නාවික හමුදා සහන කණ්ඩයාම් මඟින් වාකරේ, කිරාන් ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පිරිමි පුද්ගලයින් 161 ක්, කාන්තාවන් 120 ක් සහ ළමුන් 24 දෙනෙකු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයන් වෙත රැගෙන යාමට කටයුතු කරන ලදී. එමෙන්ම, තවදුරටත් අයහපත් කාලගුණික තත්වය ද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.