බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් සිලාවතුර, කරදක්කුලිය වෙරළ තීරයේ අද(2019 දෙසැම්බර් 03) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරනු ලබන මෙහෙයුමක් සිලාවතුර, කරදක්කුලිය වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී වෙරළ තීරයේ තිබු සැක කටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහි තුල තිබී මුහුදු කූඩැල්ලන් 977 ක් සොයා ගෙන ඇත. සිදු කල වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී ලෙස වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරතව ඇති බව කරුණු අනාවරණය කරගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 23 සහ 33 ක් වන කරදක්කුලිය, මන්නාරම සහ කොන්ඩච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 977 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.