රුසියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු නාවික හමුදාවේ නියෝජිතයින් පිරිසක් අද (2019 නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රුසියානු නාවික හමුදාවේ හමුදා අධ්‍යාපන වැඩසටහන් සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ආඥාපති (අධ්‍යාපන වැඩසටහන්, පර්යේෂණ සහ විදේශීය පුහුණු), රියර් අද්මිරාල් (ආචාර්ය) ඇලෙක්සැන්ඩර් වී කපෝව් ඇතුළු නියෝජිතයින් පිරිස මෙලෙස නාවික හමුදාධිපති හමු විය. එහිදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් රියර් අද්මිරාල් (ආචාර්ය) ඇලෙක්සැන්ඩර් ඇතුලු නියෝජිතයින් පිරිස ඉතා උණුසුම් අයුරින් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර, අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පුහුණු කටයුතු ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.