තංගල්ල පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පැවරේ

තංගල්ල පැරණි බන්ධනාගාරය නාවික හමුදාව වෙත පවරා දීම 2019 ඔක්තෝබර් මස 30 වන දින සිදු කෙරුණි.

ඒ අනුව, ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද තංගල්ල බලකොටුව තුල පිහිටි මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පැවරීමේ ලිපිය තංගල්ල ප්‍රාදේශිය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති විසින් බන්ධනාගාර පරිශ්‍රයේදී දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් වෙත භාරදෙන ලදී.

1775 වර්ෂයේදී ලන්දේසීන් විසින් තංගල්ල ප්‍රදේශයේ ඉදි කරන ලද මෙම බල කොටුව තුල ඇති ගොඩනැගිලි කිහිපයක් 19 වන ශතවර්ෂයේ මැද භාගයේදී බන්ධනාගාරයක් බවට පරිවර්තනය කර ඇත. තවද, මෙම බන්ධනාගරය 2017 වර්ෂය වන තුරුම නොවෙනස්ව පැවතුන අතර, 2017 නොවැම්බර් ‍03 වන දින තංගල්ල බන්ධනාගාරය අඟුනුකොළපැලැස්ස වෙත ගෙන යන ලදී.

මෙම ‍ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පවරා ගැනීමෙන් අනතුරුව එය තංගල්ල පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනය යටතේ මෙහි පෞරාණික වටිනාකම සුරැකෙන පරිදි නඩත්තු සහ පරිපාලන කටයුතු සිදු කිරීමට නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.