‘SPEAR’ ඒකාබද්ධ අභ්‍යාසය පිළිබඳ සාකච්ඡාවක් දකුණු නාවික විධානයේදී

එක්සත් රාජධානියේ ඒකාබද්ධ සමුද්‍ර මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හදිසි ආපදා තත්වයකදී මානුෂීය ආධාර සහ සහන සැලසීම අරමුණු කර ගත් ‘SPEAR’ නාවික අභ්‍යාසය පිළිබඳව මුලික සාකච්ඡාවක් 2019 ඔක්තෝබර් මස 28 වන දින දකුණු නාවික විධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

ඒ අනුව, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අරුණ ධනපාල ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා එක්සත් රාජධානියේ ඒකාබද්ධ හමුදා මූලස්ථානය නියෝජනය කරමින් වින්ග් කොමාණ්ඩර් බැරට් (Barratt) ඇතුලු නියෝජිත පිරිසක් සහභාගී විය.

මෙහිදී මුදවා ගැනීමේ සහන සැලසීමේ අභ්‍යාසයන් සඳහා දකුණු විධානය සතු සම්පත් හැකියාවන් සහ සීමාවන් සාකච්ඡාවට භාජනය වූ අතර, ආපදා අවස්ථාවකදී දකුණු විධානයේ දායකත්වය සහ පෙර අත්දැකීම් මෙහිදී එක්සත් රාජධානි දූත පිරිසගේ අවධානයට ලක්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් දකුණු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූ අතර, සාකච්ඡාවෙන් පසු නියෝජිත පිරිස ගාල්ල වරාය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකා වාරයකට ද සහභාගී විය.