නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 26 වන දින පුංගුඩුතිව්, කුරිකට්ටුවාන් ජැටිය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් පුංගුඩුතිව්, කුරිකට්ටුවාන් ජැටිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි නීති විරෝධී දැල් භාවිතා කර ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදාව සිදු කල වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ හක්බෙල්ලන් 70 ක් ද සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක් සහ තහනම් දැල් 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 51 ත් අතර වයස්වල පසුවන කයිට්ස්, ඩෙල්ෆ්, පුංගුඩුතිව් සහ නානට්ටාන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, හක්බෙල්ලන්, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරුණි. තවද, නීති වි‍රෝධී පන්න ක්‍රම භාවිතා කර ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත විනාශවීමේ තර්ජනයට ලක් වන අතර, එබැවින් නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙවැනි නීති විරෝධී ලෙස මසුන් අල්ලන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.