විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල සහභාගී වූ අතර, පාඨමාලාව සඳහා තායිලන්ත වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 08 දෙනෙකු, පිලිපීන වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 10 දෙනෙකු, වියට්නාම වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් සහ දේශසීමා ආරක්ෂක නිලධාරින් 02 දෙනෙකු බැගින් 04 දෙනෙකු ඇතුළුව විදේශ ආරක්‍ෂක නිලධාරින් 22 දෙනෙකු සහභාගීවී සිටියහ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුමැති ශ්‍රී ලංකා නාවික හමුදා සම්පත්දායකයින් සහ උපදේශකයින් ‍විසින් ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී සති 02 ක කාලසීමාවක් පැවැති මෙම පාඨමාලාව තුලදි නෞකා ආරක්‍ෂක ක්‍රම, මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සහ ඒවා හඳුනාගැනීම, උපායශීලී සටන් අනතුරු ආදිය පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පැසිෆික් කලාපයේ වැඩසටහන් නිලධාරි, ක්‍රිස්ටියන් සැන්ටොස් මහතා, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ උපදේශකයින් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.