මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදැරූ එහි 24 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 6 දෙනෙක් සහ නාවිකයන් 43 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිර යෑමේ උත්සවය 2019 ඔක්තෝබර් 17 වන දින ඟගේ වාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

මාස 6 ක කාල සීමාවක් පුරාවට පැවති මෙම පුහුණු පාඨමාලව තුලින් යුධමය වාතාවරණයක් පවතින කාල වකවානුවක් තුළ කුඩා බෝට්ටු සංකල්පය අනුගමනය කරමින් සෙඩ්රික් යාත්‍රා මගින් සතුරා වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණ විය. එමෙන්ම හදිසි සහ ස්වාභාවික ආපදා තත්වයන් වලදී විශේෂයෙන්ම ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් මුදවා ගැනීමේ හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා මනා පුහුණුවක් ලබා දීම ද මෙම පුහුණු කාල සීමාව තුළ දී සිදු කෙරිණි.

පුහුණු කාල සීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූවන් සඳහා සම්මාන පිරිනැමීම එහිදී සිදු විය. ඒ අනුව විශිෂ්ඨතම පුහුණුවන්නාට හිමි සම්මනානය ලුතිනන් එච්එම්එස්සිබි රාජපක්ෂ නිලධාරියා විසින් හිමි කර ගන්නා ලදී. දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ බලනැවි ආර්එච්එච්පි රාජකාරුණා විසිනි. දක්ෂතම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා සහ දක්ෂතම ජීවිතාරක්ෂකයාට හිමි සම්මානය බල නැවි එච්එච්ටිඑස් හේරත් විසින් දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් කෝණාඩ් අන්නතුගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිසක් සහ විසිරගිය නාවික පුද්ගලයන් ගේ දේමාපියන්ද එක්ව සිටියහ.