පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත අද (2019 ඔක්තෝම්බර් 01) ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෂේමාල් ප්‍රනාන්දු ද සහභාගි විය.

පළමු ‍ලෝක යුධ සමයේ සටන්බිමේදී තම රත් පැහැ රුධිරය වගුරවමින් ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම වර්තමානයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් සියළුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබයි. මව්බිමේ ආරක්ෂාව සඳහා ඔවුන් සිදු කළ කැපවීම සිහිපත් කරමින් පොපි මල් විකිණීමෙන් ලැබෙන මුදල් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා යෙදවිමට අපේක්ෂිතය.