නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී කස මෝරුන් ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු (5) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ වාලච්චේන, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලබ ගණයේ මත්ස්‍ය ‍විශේෂයක් වන කස ‍මෝරු ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් ධීවර යාත්‍රාවකින් වාලච්චේන වරාය පරිශ්‍රය වෙත රැගෙන එමින් සිටියදී මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එම ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් වයස අවුරුදු 27 ත් 49 ත් අතර වියෙහි පසුවන මීගමුව පුදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අල්ලන ලද කස මෝරුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වාලච්චේන , ධීවර පරීක්ෂක වෙත භාර දීමට නියමිතව ඇත.

"ඇලෝපිඩේ" කුලයට අයත් මෙම කස මෝරා ධීවර හා ජලජ සම්පත් පනත යටතේ, ධීවරයින්ට හෝ විනෝදයට හා ක්‍රීඩාවක්‌ ලෙස මසුන් අල්ලන කිසිම අයෙකුට ඇල්ලීම තහනම් කර ඇත. තවද, යම්කිසි බෝට්‌ටු හිමියකු හෝ නියමුවකු මියගිය කස මෝරකුගේ සිරුරක්‌ හෝ සිරුරක යම් කොටසක්‌ හෝ බෝට්‌ටුව තුළ තබා ගැනීම මෙන්ම වෙනත් බෝට්‌ටුවකට මාරු කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීමට ද අවසර ලබා දී නොමැත.