කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් 2019 සැප්තැම්බර් මස 29 වන දින ත්‍රීකුණාමලය, එරක්කණ්ඩි, අල් හමීර් මුස්ලිම් විද්‍යාලයේදී පවත්වන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කිමිදුම් වෘත්තිය පිළිබඳ නිපුණතාවය ඇති පුරෝගාමී ආයතනය වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් ඒකකය සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටින නාවික හමුදා වෛද්‍ය අංශය සමඟ එක්ව ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ පුරෝගාමීත්වයෙන් මෙම වැඩසටහන් මාලාවේ පලමු වැනි වැඩමුළුව මෙලෙස ක්‍රියාත්මක කරන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ පුර්ණ අනුග්‍රහය සහ සංවිධාන‍යෙන් පැවැත් වූ මෙම වැඩමුළුවට ප්‍රදේශයේ ජිවත්වන කිමිදුම් වෘත්තිකයින් 67 කට අධික පිරිසක් සහභාගීවී සිටියහ.

කිමිදුම් වෘත්තිය තම ජීවනාලිය කරගත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ නැගෙනහිර, බටහිර සහ දකුණු මුහුදු තීර ආශ්‍රිතව ජිවත් වන අතර, සංචාරක කර්මාන්තය, අපනයන ධීවර කර්මාන්තය සහ සාගර ගවේෂණ කටයුතු හරහා ඔවුන් විසින් මෙරට ආර්ථිකයට සපයන දායකත්වය අති මහත්ය.

බහුතර කිමිදුම් වෘත්තිකයින් කිමිදුම් තාක්‍ෂණය පිළිබඳව නිසි වෘත්තිය නිපුණතාවයක් හෝ තාක්‍ෂණික දැනුමක් නොමැතිව මෙම අනතුරුදායක වෘත්තියේ නියුතු වන බව කාලාන්තර‍යක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිරික්‍ෂණය වී ඇත. කිමිදුම් වෘත්තියේ යෙදි සිටියදි වැල‍ඳෙන විවිධ රෝගබාධ සහ අනතුරුවලට ලක්වීමෙන් විශාල කිමිදුම්කරුවන් පිරිසක් නාවික හමුදා රෝහල් මඟින් දෛනිකව ප්‍රථිකාර සහ පුනරුත්ථාපන සේවාවන් ලබා ගැනීමට ද කටයුතු කරනු ලබයි.

කිමිදුම් වෘත්තිකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු කරන අනුපමේය දායකත්වය වෙනුවෙන් ඔවුන්ගේ සුභසාධනය, වෘත්තිය නිපුණතාවය සහ ශාරිරික, මානසික යෝග්‍යතාවය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමේ අරමුණින් ‘ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ විද්‍යායතනය’ විසින් කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යා උපදේශන වැඩමුළු පැවැත්වීම සඳහා පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ගරු සභාපති, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම වැඩමුළුවේදී කිමිදුම්කරණය පිළිබඳ නිවැරදි තාක්‍ෂණික දැනුම, ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව කිමිදුම්කරුවන් වෙත ලබා දීමට නාවික හමුදාවේ විශේෂඥ කිමිදුම් වෘත්තිකයින් විසින් කටයුතු කරන ලදී. කිමිදුම් වෘත්තියේදී ඇතිවන විවිධ රෝගාබාධ, ඒ සඳහා ලබා දිය යුතු ප්‍රථමාධාර සහ සම්මත ප්‍රථිකාර විදි මෙන්ම කිමිදුම් ආශ්‍රිත රෝග වලක්වා ගැනීමේ ක්‍රමෝපායන් සහ කිමිදුම්කරුවන් විසින් පවත්වා ගත යුතු කායික, මානසික, ශාරිරික යෝග්‍යතාවය පිළිබඳවත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික උපදෙස් ලබා දීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් වෛද්‍ය ඒකකයේ විශේෂඥ කිමිදුම් වෛද්‍යවරුන් විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයෙහි පුරෝගාමිත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ප්‍රජා සත්කාරයක් ලෙස ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කිමිදුම් වෘත්තිකයින්ගේ වෘත්තීය නිපුණතාවය, ශාරීරික යෝග්‍යතාවය සහ ජිවන මට්ට්ම ඉහල නන්වනු වස් සිදු කරනු ලබන මෙම සත්කාරය තවදුරටත් පවත්වා ගෙන යාම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ අපේක්‍ෂාවයි.