තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 60 ත් අතර පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහාකර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, එම විධානය විසින්ම ත්‍රිකුණාමලය, බ්ලැක් තුඩුව සහ මුලතිව් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයන් අතරතුරදී ද නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 19 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 70 ත් අතර පසුවන මුලතිව්, මදුරන්කුලිය, කොඩ්ඩන්තුඩුව සහ මිගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක්, පිටත දහන යන්ත්‍ර 03 ක් සහ තහනම් දැල් 03 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල ඇති සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම සඳහා මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම කෙරෙහි නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.