විදේශීය වෙරළාරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් පැවැති විශේෂ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 සැප්තැම්බර් 27 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී වූ අතර, ඉන්දුනීසියාව, මැලෙසියාව යන රටවල්වල වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 08 දෙනෙකු බැගින් 16 දෙනෙකු සහ පිලිපීන වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 09 දෙනෙකු හට මෙහිදී සහතික ප්‍රදානය කෙරුණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම පාඨමාලාව ක්‍රියාත්මක කරන ලද අතර, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ උපදේශකයින් ‍සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ උපදේශකයින් විසින් එය මෙහෙයවන ලදී.

සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැති මෙම පාඨමාලාව තුලදි නෞකා ආරක්‍ෂක ක්‍රම, මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සහ ඒවා හඳුනාගැනීම, උපායශීලී සටන් අනතුරු ආදිය පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම සමාප්ති උත්සවය සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ කාර්යාලයට අනුයුක්ත නිලධාරින් සහ විශේෂ යාත්‍රා බලඝනයේ උපදේශකයින් පිරිසක් සහභාගීවී සිටියහ.