බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 26 වන දින සිලාවතුර, හුනෙයිස්නගර් ප්‍රදේශයේ දී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් සිලාවතුර, හුනෙයිස්නගර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ටැක්ටර් රථයක් සමඟ වැලි කියුබ් 01 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින්, ටැක්ටර් රථය සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිසිය වෙත බාර දීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී වැලි ගොඩදැමීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැලැක්වීම සඳහා නීති විරෝධී ලෙස ගොඩදැමූ වැලි ප්‍රවාහන කරනු ලබන වැලි ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසුකර ගැනීමට නාවික හමුදාව නිරන්තර වැටලිම් සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර, එමඟින් පරිසරය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තියට දායකවීම නාවික හමුදාව අපේක්‍ෂා කරයි.