කොළඹ වරාය පිවිසුමේ ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ වරාය, පොලීසිය එක්ව අද (සැප්තැම්බර් 26) සිදු කළ මෙහෙයුමකදී කොළඹ වරාය පිවිසුමේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධිවර යාත්‍රා දෙකක් (02) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ කොළඹ, වරාය ‍පොලිසිය එක්ව අද දින සිදු කළ මෙහෙයුමකදී කොළඹ වරාය පිවිසුම අසල ධීවර කටයුතුවල නිරත වූ මෙම ධීවර යාත්‍රා දෙක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රා පොලිසිය බාරයට ගෙන ඇත.

තවද, වරායන්ට පිවිසෙන හා පිටවන මුහුදු මාර්ග අවහිර වන ලෙස ධීවර කාර්මාන්තයේ නිරතවීම ජාත්‍යාන්තර නෞකා ගමනාගමනයට බාධාවක් මෙන්ම ධීවරයින් ද අනතුරට පත්වීමේ අවධානම් සහගත ක්‍රියාවක් බව නාවික හමුදාව විසින් ධීවර ප්‍රජාව කොතරම් දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවි සුළු පිරිසක් මේ ආකාරයෙන් කටයුතු කරන බව නිරීක්‍ෂණය වේ. එබැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව ධීවර කර්මාන්තයේ නියැලීමට ධීවර ප්‍රජාව කටයුතු කළ යුතුව ඇත.