ගංවතුර වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක්ව ඇති අතර, එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් නාවික හමුදාව විසින් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයුක්ත කර ඇත.

ඒ අනුව, විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 24 ක් සහ ඩිංගි යාත්‍රා 13 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රදේශ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, තවලම, ඉමදුව, උඩුගම සහ පෝද්දල යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ අකුරැස්ස යන ප්‍රදේශ මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත යන ප්‍රදේශවල සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්ගහතොට ප්‍රදේශයේ පොල්අතුමෝදර ගඟ හරහා ගසක් කඩා වැටී කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායම් ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ජලය බැස යාම කඩිනම් කිරීමට කටයුතු කරන ලදී.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අවශ්‍ය පරිදි ස්ථානගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව ඉදිරියටත් නිරන්තර අවධානයෙන් සිටී.