නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 840 සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 සැප්තැම්බර් 25) තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 840 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුර වෙරළට ගොඩගසා තිබූ සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී සැක කටයුතු පාර්සල් 18 ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් පරීක්‍ෂා කිරීමේදී එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 840 ක් සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

ඒ අනුව, මෙම මාසය තුල නාවික හමුදාව විසින් උතුරු මැද නාවික විධානනයට අයත් බල ප්‍රදේශයන්හි සිදු කරනු ලැබූ මෙහෙයුම් තුලින් බීඩිකොළ කිලෝග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.