මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 සැප්තැම්බර් 24 වන දින තිස්සමහාරාමය, අළුත්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දේශීය ගංජා ග්‍රෑම් 500 ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ කතරගම, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව තිස්සමහාරාමය, අළුත්ගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ තිබී මෙම ගංජා තොගය සොයා ගෙන ඇත. සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම ගංජා ‍ප්‍රමාණය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කර ඇති බව කරුණු අනාවරණය කර ගෙන ඇති අතර, මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව ද හදුනාගෙන ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 52 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, එම සැකකරු, ත්‍රිරෝද රථය සහ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.