අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන් අභිෂේක ගැන්වීමේ උත්සවය සැප්තැම්බර් 19 වන දින කොළඹදී

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ජ්‍යේෂ්ඨ නිලධාරීයා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලයෙහි අභිෂේක ගැන්වීමේ උත්සවය 2019 සැප්තැම්බර් 19 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ, 2009 වර්ෂයේ මැයි මස අවසන්වූ මානුෂීය මෙහෙයුමේ කාලසීමාව තුළ දී සහ රට ජාතිය වෙනුවෙන් ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය, ජාතියට පුදකල ප්‍රශංසනීය සේවය හා සිදුකල අද්විතීය මෙහෙවර අගයනු වස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ‍සන්නද්ධ හමුදාවන් හි සේනාධිනායක , අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම ගෞරවනීය නිලය මෙලෙස ප්‍රදානය කරන ලදී.

අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ වර්ෂ 1971 අගෝස්තු මස 01 වන දින ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය නාවික හමුදාවට බැඳී සිය මූලික පුහුණුව නාවික හා සාගරික විද්‍යාපීඨය ත්‍රිකුණාමලය සහ ඉන්දීය නාවික හමුදාවවෙන් සාර්ථක ලෙස නිම කිරීමෙන් පසු උප ලුතිනන්වරයෙකු ලෙස වර්ෂ 1974 පෙබරවාරි මස 01 වන දින අධිකාරියට පත්විය. ඉන් අනතුරුව විවිධ නාවික ආයතන සහ නෞකාවල සේවය කැපවීමෙන් ඉටුකරමින් ‍නිසි අවස්ථාවන් හිදි උසස්වීම් ලැබූ අතර, විවිධ දේශීය හා විදේශීය පාඨමාලාවන් හදාරමින් තම නාවික වෘත්තිය දැනුම වැඩිදියුණු කරගන්නා ලදී.

1974 වර්ෂයේ දී ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ දී උප ලුතිනන් තාක්‍ෂණික පුහුණු පාඨමාලාව පළමු වන පන්තියේ සාමාර්ථයක් සහිතව සාර්ථකව නිම කර ඇති එතුමන්, 1979 වර්ෂයේ ඉන්දියාවේ මාලිමා ශාස්ත්‍ර පාඨමාලාව ද පළමු වන පන්තියේ සාමාර්ථයක් සහිතව නිමකරන ලදී. ලුතිනන් කොමාණ්ඩර්වරයෙකු ලෙස 1987 වර්ෂයේ එක්සත් රාජධානියේ දී මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිම කර ඇති ඔහු, කපිතාන් නිලයේ සේවය කරමින් සිටිය දී 1996 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගෙන ඇත. 1997 වර්ෂයේදී ඔහු කොමදෝරුවරයෙකු ලෙස ජාත්‍යන්තර සම්බන්ධතා, ජාත්‍යන්තර මුහුදු නීතිය සහ බලශක්ති පිළිබඳ පාඨමාලාව ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ දී සාර්ථකව හදරා ඇති අතර, රියර් අද්මිරාල්වරයෙකු ලෙස 1999 - 2000 වර්ෂවල ජාතික ආරක්‍ෂාව පිළිබඳ පාඨමාලාව පාකිස්ථානයේ ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් හදාරා ඇත. එම කාලසීමාවේදීම පාකිස්ථානයේ කාඩි අසම් විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක කටයුතු පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පශ්චාත් උපාධි දෙකක් ලබාගත් ප්‍රථම නිලධාරියා බවට පත්ව ඇත. එමෙන්ම, 2002 වර්ෂයේදී කලාපීය ආරක්ෂාව පිළිබඳ පාඨමාලාව ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ඇ‍මෙරිකානු ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී හදරා ඇති අතර, 2009 වර්ෂයේදී කැළණිය විශ්වවිද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධිය ද එතුමන් හිමිකර ගෙන ඇත.

බටහිර, නැගෙනහිර සහ උතුරු නාවික ප්‍රදේශ භාර ආඥාපති ලෙස දෙවතාවක් ද, උතුරු මැද නාවික ප්‍රදේශ භාර ආඥාපති ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස ද විශිෂ්ඨ සේවයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉටුකොට ඇති එතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 15 වන නාවික හමුදාධිපතිවරයා ලෙස 2005 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වන දින පත්වීමත් සමඟ, වයිස් අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ නාවික හමුදාධිපති ධූරයට පත්වීමත් සමඟම නව සංග්‍රාමික උපක්‍රම නාවික හමුදාවට හඳුන්වාදෙමින් සතුරු නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන තෙක් බලා නොසිට සතුරු නෞකා සොයාගොස් ප්‍රහාර එල්ල කිරීමේ පිළිවෙත ක්‍රියාවට නගමින් සැතපුම් දහස් ගණනක් හඹාගොස් ජාත්‍යන්තර මුහුදේ ඇති එල්.ටී.ටී.ඊ. පාවෙන අවි ගබඩා නෞකා 8ක් විනාශ කොට යුද්ධයට ගෙන ඒමට සකසා තිබූ අවි හා උණ්ඩ විනාශ කිරීමෙන් එල්.ටී.ටී.ඊ. ය යුධමය අතින් අකර්මණ්‍ය කරන ලදි. ඔහු විසින් එතෙක් ශ්‍රී ලංකා මුහු‍දේ පමණක් සටන් කල ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සටන්කල හැකි නාවික හමුදාවක් බවට පත් කරන ලද අතර, විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සමඟ මිත්‍රශීලී සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් අවි ගබඩා සහිත නෞකා සොයාගැනීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලදී.

තවද, කුඩා බෝට්ටු සංකල්පය හඳුන්වා දෙමින් 200 කට අධික ඇරෝ යාත්‍රා ප්‍රමාණයක් නාවික හමුදාව මගින්ම නිෂ්පාදනය කොට එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි බලය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කෙරෙහි ප්‍රමුඛත්වයක් දෙමින් නාවික හමුදාවේ සංග්‍රාමික හැකියාව සහ යුධ ශක්තිය වර්ධනය කිරීම සඳහා විශාල සේවයක් සිදු කරන ලදි. නාවික පුද්ගලයින්ගේ සුභසාධනයට දැඩි අවධානයක් යොමුකර නාවික පුද්ගලයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවත්වාගැනීමට සැමවිටම මෙතුමන් කටයුතු කරන ලද අතර, රටේ ආර්ථික මර්මස්ථාන වන කොළඹ වරාය සහ අනෙකුත් වරායන් ආරක්‍ෂා කරමින් රටේ ආර්ථිකය ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරන ලදී. ජෙට්ලයිනර් නෞකාව නාවික හමුදාවට එක්කර ගනිමින් යාපනය අර්ධද්වීපයට යුධ හමුදා පුද්ගලයින් එකවර 3000 කට අධික ප්‍රමාණයක් සතියකට වරක් ප්‍රවාහනය කරමින් යුධ හමුදා පුද්ගලයින්ට නිසිකලට නිවාඩු යෑමට සහ ඒමට අවස්ථාව සලසා දෙමින් ඔවුනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවි ආයුධ වැනි අත්‍යවශ්‍යය සැපයුම්වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් මුහුදු මාර්ගයෙන් අඛණ්ඩව ප්‍රවාහනය කරමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට යුධ හමුදාවට මහත් සහයෝගයක් ලබාදීමට එතුමන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලදී. 2009 මැයි මස 18 වන දින මානුෂීය මෙහෙයුමේ ලද විජයග්‍රහණයත් සමඟම අද්මිරාල් නිලයට උසස් කිරී‍මෙන් නාවික හමුදා ඉතිහාසයේ සක්‍රීය සේවයේ යෙදී සිටිය දී එම නිලයට පත්වූ ප්‍රථම නිලධාරියා වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය.

අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ගේ නාවික හමුදා දිවිය තුළ දී ඔහු හට වීරත්වය වෙනුවෙන් රණශූර පදක්කම ද රාජකාරියට ඇති කැපවීම හා නොකැලැල් චරිතය හේතු කොටගෙන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ද පිරිනමන ලදි. මෙම පදක්කම්වලට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ජනාධිපති ධූරප්‍රාප්ති පදක්කම, නිදහස් සමරු ස්වර්ණ ජයන්ති පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැ‍ගෙනහිර සංග්‍රාමික පදක්කම, පූර්ණභූමි පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම යන පදක්කම් සහ සම්මානවලින් පිදුම් ලබා ඇත.