විදේශීය වෙරළාරක්‍ෂක නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාව අද (2019 සැප්තැම්බර් 16) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන පුහුණු පාසලේ පුහුණු විධායක, කොමාණ්ඩර් (වියාබ) හේමකුමාර හේරත් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ නාවික හමුදා නිලධාරින් ඇතුළු නාවිකයින් පිරිසක් සහභාගීවී සිටියහ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව පස්වන වරටත් සංවිධානය කරන ලද මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා ඉන්දුනීසියාව, මැලෙසියාව යන රටවල්වල වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 08 දෙනෙකු බැගින් 16 දෙනෙකු සහ පිලිපීන වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 09 දෙනෙකු සහභාගීවී සිටි.

මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබන අතර, එළඹෙන සැප්තැම්බර් 27 වන දින මෙම පුහුණු පාඨමාලාව අවසන්වීමට නියමිතව ඇත.