නීති විරෝධී ලෙස ව්‍යාපාර කටයුතුවල නිතර වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු (02) ‍නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 සැප්තැම්බර් 08 වන දින සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, සංචාරක විසා මඟින් මෙරටට පැමිණ ඇති මෙම පුද්ගලයින් දෙදෙ‍නා (02) නීති විරෝධී ලෙස ලංකාපටුන ප්‍ර‍දේශයේ රෙදිපිළි අලෙවි කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, ඔවුන් ලඟ තිබී අලෙවි කරමින් තිබූ සල්වාර් 41 ක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ සල්වාර් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ලංකාපටුන පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරුණි.