බීඩී කොළ කිලෝග්‍රෑම් 192.5 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 05 වන දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී බීඩී ‍කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර රහිතව ලඟ තබා ගත් බීඩී කොළ කිලෝග්‍රෑම් 192.5 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම බීඩී කොළ තොගය නීති විරෝධී ලෙස පාර්සල් 11 ක් තුල අසුරා නිවසක් තුල සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

සැකකරු සහ බීඩී කොළ තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි. තවද, ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන හා අලෙවි කරනු ලබන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.