ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2019 සඳහා සිඳුරළ සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාව බලා පිටත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2019) සහභාගි වීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකාවන් අද (සැප්තැම්බර් 05) ත්‍රීකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය. මෙම නෞකාවන් වරායෙන් පිටත්වීම නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.

එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහ ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති විසින් නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන, ‍කපිතාන් නලින් නවරත්න සහ කපිතාන් සංජීව ප්‍රේමරත්න ඇතුළු නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී. තවද, මෙම නෞකාවන් සැප්තැම්බර් මස 07 වන දින විශාකාපට්නම් වරාය වෙත ලඟා වීමට නියමිතය.

මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 07 වන දින සිට 12 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළුව නිලධාරීන් සහ නාවිකයින් 323 දෙනෙකු සහභාගීවිමට නියමිතය. තවද, මෙම නාවික අභ්‍යාසය මඟින් හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ද ඇතුළුව ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාස රැසක් පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදු කරන මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් දෙරටේ නාවික හමුදාවන්ගේ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, එමගින් ඉන්දියානු සාගර කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.