ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම

ඉදරියේ දී ගංවතුර ආපදා තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීමේ අරමුණින් නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30 ) නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අයත් නාවික භට පිරිසක් රත්නපුර ප්‍රදේශයේ ස්ථාන ගත කිරිමට කටයුතු කරන ලදී.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාවික හමුදාවෙන් කරන ලද ඉල්ලිමකට අනුව සබරගමුව පළාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇදහැලෙන අධික වැසි තත්වය නිසා ඇතිවිය හැකි ගංවතුර ආපදාවකදී ක්ෂණිකව සහන සැලසීම සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) ට අනුයුක්ත භට පිරිසක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

තවද, මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගං වතුර අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ ආවරණය වන පරිදි සියළුම නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් ආපදාවට පෙර සූදානම් කර තැබීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව කටයුතු කර ඇත.