අනතුරට පත්ව වෙරළට ගොඩ ගසා සිටි‍ කැස්බෑවෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 20) අනතුරට පත්ව මට්ටක්කුලිය, කාකදුපත වෙරළ තීරයට ගොඩගසා සිටි කැස්බෑවෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ධීවර දැලක පැටලි සිටි කැස්බෑවෙකු නිරික්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික පුද්ගලයින් එම කැස්බෑවා ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. අදාල කැස්බෑවා දැලෙහි පැටලිම හේතුවෙන් සිරුරට තුවාල සිදුව තිබූ අතර, ප්‍රතිකාර කටයුතු සඳහා වනජීවි නිලධාරින් වෙත භාරදිමට කටයුතු කරන ලදී.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් දියත් කරගෙන යනු ලබන අතර, ඒ අනුව හඳුනාගනු ලැබූ ආරක්‍ෂිත වෙරළ තීරයන් වලදී සංරක්‍ෂණය කරනු ලැබු කැස්බෑ පැටවුන් 7000 ක් පමණ නාවික හමුදාව මඟින් සාගරයට මුදා හැරිමට කටයුතු කර ඇත. මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සාගර සම්පත සුරැකීම පිණිස ඇපකැපවී මෙහෙයුම් සිදු කරමින් සිය සෘජු දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි.